(මේ වසරේ ජූනි 3 වැනිදාට යෙදුණු 110 වැනි ජන්ම දිනය නිමිත්තෙනි)
”ගල් ලෙන බිඳලා – ලෙන් දොර හැරලා
සිංහබා සිංහබා සිංහබා
මා සොඳුර මා සොඳුර මා සොඳුර
සිංහ සීවලී මා ප්‍රිය දියණිය”
(සිංහබාහු)
සිංහබාහු නාටකයේ ඉහත ගී ඛණ්ඩය ඉතා ප්‍රකටය. 1956 අපගේ දේශයේ දේශපාලන කඩඉමක් ඇතිවූවා සේම සංස්කෘතික කඩඉමක්ද ඇතිවිය. ඒ විරාගය නවකතාව (මාර්ටින් වික්‍රමසිංහ මහා ලේඛකයා ලියූ) රේඛාව චිත්‍රපටය (ලෙස්ටර් ජේම්ස් පීරිස්) හා මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර අපගේ ගුරු දේවයාණන්ගේ මනමේ නාටකයත් ඒ සංස්කෘතික මහා පෙරළියේ එළිදැක්වූ කලා කෘතින් ලෙස ප්‍රකටය.
මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර මහා කලාකරුවාණන් විසින්ම එතුමා ගැන සඳහන් කළ කරුණකින් මෙම ලිපිය ආරම්භ කිරීම මැනවැයි සිතමි. ඔහු මෙසේ ලියා ඇත.
”සරච්චන්ද්‍ර නම ඇසූවිට බොහෝ දෙනා අපේක්ෂා කරන්නේ ආරෝහ පරිණාහයෙන් යුත් පුරසඳ මෙන් බබලවන මුහුණක් ඇති හුරුබුහුටි කෙනකු දැකීමටය. මා ද සිතාගෙන ඉන්නේ මා දුටුවන් වශී කරන පෙනුමකින් යුත් කෙනකු කියාය. දිනක් ප්‍රසිද්ධ රුස්වීමකට මා කැඳවනු ලැබිණි. මා එහි යන විට මා දැක භග්නාශාවූ කිසිවෙක් ”ඔබ උස මහත තේජස් පෙනුමක් ඇති කෙනෙක් කියා මම සිතුවා”යි ඔහු මා සමඟ කීවේය. (කල්පනා ලෝකය – මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර – පි. 54) එතුමා ලියූ පොතක සඳහන් කළ කරුණකි; ඒ.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දේශනවලදී එතුමාගේ කතා විලාශය හා ඒවා පැහැදිලි කළ ආකාරය අපි බලා සිටින්නෙමු. කිසිදු ලියැවිල්ලක් හෝ සටහනක් නැතිව එකදිගට විනාඩි 40 පමණ කරන ඒ දේශන සැබැවින්ම අපි ආශාවෙන් අසා සිටියෙමු.
උසස් පෙළ පන්තියේදී මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර යන නාමය පමණක් නොව, සිංහබාහු, මනමේ වැනි සංගීතමය නාට්‍යවල ගීත පවා අපගේ මතකයේ රුඳී තිබුණි. මා පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ගිය පසුව මෙතුමා පමණක් නොව මහාචාර්ය ආරිය රාජකරුණා, මහාචාර්ය ඇම්.බී. ආරියපාල, මහාචාර්ය ඩී.ඊ. හෙට්ටිආරච්චි, මහාචාර්ය හේමපාල විජේවර්ධන මහත්වරුන් හා මහාචාර්ය සිරිමා කිරිබමුණ හා ආචාර්ය කුසුමා කරුණාරත්න මහත්මින් අපට දේශන පැවැත්වීමට සම්බන්ධ වීම අපගේ භාග්‍යයක් වූයේය. ඒ අතරේ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර අපගේ සමීපතම ගුරු දේවයාණන් හා සබඳතාවයේ එක් අවස්ථාවක් මෙහි සඳහන් කරමි.
මා විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන කාලයේදී මෙන්ම ඊට පෙරද ලියූ කවි හා ගීත රචනා රුසක්ම තිබුණි. මා විශ්වවිද්‍යාලයෙන් සමුගෙන එන අවස්ථාවේදී එතුමා හමුවී මා විසින් ලියන ලද ගීත රචනා හා කවි ලිපි ගොනුවකට එක්කර එතුමාට භාර දී ආවේ ඒ මගේ රචනා පිළිබඳ කිසියම් ඇගයීමක් අපේක්ෂාවෙනි. ඒ අන්දමින්ම එය ඉටු වූයේය. එම ගී පද රචනා අතර මෙකල ආචාර්ය දයාරත්න රණතුංග ප්‍රවීණ ගායකයාණන් ගායනා කරන ”සරසවියෙදි හෙට විතරයි හමුවන්නේ” වූ එම ගීතය ද මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් බලා අගැයීමකට ලක්කර තිබුණි. අද හිටියා නම් ඔහු ඒ ගීය ගැන කොපමණ සන්තෝෂයට පත්වන්නේ දැයි මට සිතුණු වාර අනන්තය.
මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් වැනි ප්‍රතිභාපූර්ණ හා නිහතමානී කලාකරුවකු හමුවීමට මෙන්ම තවත් සමීපව ඇසුරු කිරීමට 1987 වර්ෂයේදී පිටකෝට්ටේ, එපිටමුල්ල නිවෙසටද යාමට අවස්ථාව ලැබුණි.
එදිරිවීර සරච්චන්ද්‍ර සාර සංග්‍රහයේ (1993) සඳහන් වූ තොරතුරුවල මෙසේ දැක්වේ.
”සරච්චන්ද්‍ර මූලික අධ්‍යාපනය ලැබුවේ දිවයිනේ ප්‍රකට මිෂනාරී පාසල්වලිනි. ගාල්ලේ රිච්මන්ඩ් හා ශාන්ත ඇලෝසියස්, පානදුරේ සාන්ත ජෝන් හා ගල්කිස්සේ ශාන්ත තෝමස් ඒවායින් කිහිපයකි. ඉංග්‍රීසි අධ්‍යාපනය මාධ්‍ය වූ එකල පාසලේදී ඉංග්‍රීසි භාෂා සාහිත්‍ය හා විද්‍යා විෂයයන් හදාරා ලන්ඩන් මැට්‍රිකියුලේෂන් සමත් වුවද, පෙරදිග භාෂා සාහිත්‍ය කෙරෙහි සරච්චන්ද්‍රයන් තුළ උනන්දුවක් ජනිත කරවීමට එදා පැවති අධිරාජ්‍ය විරෝධී හැඟීම් හා ජාතික ව්‍යාපාර මෙන්ම භාරතීය ආභාසයද හේතු වූ බව පෙනේ. මහත්මා ගාන්ධි, තාගෝර් වැනි භාරතීය චින්තකයන්ගේ පොතපත කියැවීමෙන් තමා ප්‍රබෝධමත් වූ අන්දම සරච්චන්ද්‍රයන් විසින් පවසා ඇත. (එදිරිවීර සරච්චන්ද්‍ර සාර සංග්‍රහය – පී.බී. ගලහිටියාව හා කේ.එන්.ඕ. ධර්මදාස. හැඳින්වීම – 1993)
1936 දී ඉන්දු ආර්ය භාෂා පිළිබඳ ගෞරව උපාධිය ලංකා විශ්වවිද්‍යාල කොලිජියෙන් ලබාගත් එදිරිවීර සරච්චන්ද්‍ර තරුණයා 1939 දී භාරතයේ ශාන්ති නිකේතනය බලා ගොස් සංගීතයත් සිතාර් වාදනයත් ඉන්දියානු දර්ශනයත් ඉගෙන ගත්තේය. 1944 දී ලන්ඩන් විශ්වවිද්‍යාලයෙන් බාහිර අපේක්ෂකයකු ලෙස පෙරදිග දර්ශනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියත් අනතුරුව බුඩිස්ට් සයිකොලොජි (Buddhist Psychology of Perception) නම් ශාස්ත්‍රීය පර් යේෂණ ග්‍රන්ථය ලියා ඒ සඳහා ආචාර්ය උපාධියත් හිමිකර ගත්තේය. පේරාදෙණිය, යාපනය හා ශ්‍රී ජයවර්ධනපුර යන සරසවිවලින් සාහිත්‍ය සූරි ගෞරව සම්මානයෙන් පිදුම් ලද ඔහු පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය හා එහි කුලපති තනතුරද හෙබවූයේය. ඉන්දියාවේ කේරළ ප්‍රාන්තය මගින් කුමාරන් ආශාන් විශ්ව සම්මානයද පිලිපීනයේ මැග්සේසේ ජාත්‍යන්තර සම්මානයෙන්ද මහාචාර්ය සරච්චන්ද්‍ර පිදුම් ලැබුවේය.
”පින් ඇති සරසවි වරමක් දෙන්නේ” නමින් 1985 දී ඔහු විසින් පළ කරන ලද ග්‍රන්ථයේ තැනක මෙසේ සඳහන් වේ.
”සූර්යසේන මහතා පැළඳි වේශය දක්වමින් හෝ නොහොත් භාරතීය නායකයන්ගේ ඡායාරෑප පුවත්පත්වල දැක උතුරු ඉන්දියාවේ දෝතිය හා කුර්තාවට මා තුළ ආසාවක් ඇතිවිය. යුනිවර්සිටි කොලිජියේ උත්සව කිහිපයකට මම දෝතිය හා කුර්තාවත් ගාන්ධි තොප්පියට සමාන හිස් කසුවකුත් ඇඳගෙන ගියෙමි. එම උත්සවවලදී මාර්ස් මහතා මා දකින්නට ඇතැයි සිතමි. බී.ඒ. උපාධිය ලැබූ පසු මට සිවිල් සේවයේ පරීක්ෂණයට පෙනී සිටින්න යැයි මගේ දෙමාපියෝ ඇවිටිලි කළහ. මම ඊට මගේ අකැමැත්ත දැක්වීමි. එහෙත් කෙළවරදී මා කෙරෙහි බෙහෙවින් හිතවත් වූ ඥාතියකු විභාග ගාස්තු පවා ගෙවීමට ඉදිරිපත් වී මට පෙරුත්ත කළ බැවින් මම එකඟ වීමි. විභාගයේ ලිඛිත පත්‍රවලින් මම ඒ අවුරුද්දේ පළමුවැන්නා වීමි. එහෙත් සම්මුඛ පරීක්ෂණයේදී මට ලැබුණේ ලකුණු තුන්සියයෙන් පහළොවක් (15) පමණි. මෙසේ මට ඉතා අඩු ලකුණු ලැබුණේ මා හැඳි ගාන්ධි තොප්පිය නිසා (සම්මුඛ පරීක්ෂණයේ සිටි) මාර්ස් මහතා තුළ මා කෙරෙහි ඇති අප්‍රසාදය හේතු කොටගෙන යැයි ශිෂ්‍යයන් බොහෝ දෙනකුගේ මතය විය. සම්මුඛ පරීක්ෂණයේදී මෙතරම් අඩු ලකුණු ලැබුණේ සමහරුන් සැක කළ මේ හේතුව නිසාද නැතහොත් අසන ලද ප්‍රශ්නවලට මා දුන් පිළිතුරු වැරදි වූ නිසාදැයි මම නිශ්චය වශයෙන් නොදමිනි.
මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර අප ගුරු දේවයාණන්ට එසේ පරිපාලන සේවයට (සිවිල් සේවයට)යාමට අවස්ථාව නොලැබීම ජාතියේ වාසනාවක් ලෙස අපි දකින්නෙමු.
I සිරිසමන් විජේතුංග
ලේකම් – මහාචාර්ය සෙනරත් පරණවිතාන පදනම